ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරු පියාණෝ!


මගේ මව් කුඩා පොත් කිහිපයක් ලිව්වා. මට වඩාත්ම දැනුනෙ පියා වකුගඩු අකර්මණ්‍ය ව අවසන් දවස් ගත කරද්දී එයාගේ අවමගුල් දවසේ ධර්ම දානයක් විදිහට බෙදල දෙන්න අම්මා ලියපු "මරණයට සාදර වන්න" පොත.
ලඟදි එයාගේම ජීවිත කතාව ලියන්න ගත්තා. පෙරේද ඇහුවහම ඉවර ද කියලා අනේ මට කම්මැලියි, මහන්සියි බං කිව්ව. ඒ කොහොම උනත් විවාහයෙන් පස්සේ පරිච්ඡේදවල එතරම් රසවත් බවක් නෑ, ලියල වැඩකුත් නෑ කිව්වා.
දැන් 84 යි, අම්මා එයා ගැනම ලියපු දෙයක් මේ. "මම බොහෝ ඇසූපිරූ තැන් ඇත්තියක නොවෙමි. කිසිම ලෙසකින් ලේඛිකාවක ද නො වෙමි. එහෙත් කියවන්නට ප්‍රිය කරමි. සිරුරේ දිරාපත් බව විසින් එය ද කෙමෙන් කෙමෙන් මවිසින් දුරු කරනු ලබයි. යමක් අසා දැනගන්නට ද එතරම් පහසු නැත. ඒ මගේ දෙසවන් මට වසඟ නැති නිසාය. දහසක් දුබලතා මැද වුවද ළබැඳියන් ගේ හිතෛෂී බව ගැන ලිවීමෙන් මා ලබන සුවය අපමණය"
අම්මා ලියපු දේවල් ටික ටික ඩිජිටල්කරණය කළ යුතුයි. කාලය තමයි ප්‍රශ්නේ, සිංහලෙන් අකුරු කරද්දි ඉංග්‍රීසියට වැඩිය ගොඩක් වෙලා යන නිසා, මගේ සුපුරුදු වොයිස් ටයිප් කලත්.
මේ අද පොසොන් දවස වෙනුවෙන් ගනේගම සරණංකර හාමුදුරුවන්ගෙ බුදුහාමුදුරුවෝ පොත ආශ්‍රයෙන් අම්මා මුද්‍රණය කරලා බෙදා දීපු සංක්ෂිප්තයක්. ධර්ම දානය වෙනුවෙන් ඇගේ ඇති කැමැත්ත ඉටු කරන්නත් එක්ක. මේ පොතත් පිටු 45ක එකක්, ඉදිරියේදී ටික ටික සයිබර් අවකාශයට ගත යුතුයි.
-------------------------

බුදුරජාණන් වහන්සේට අති විශාල සංඛ්‍යාවක් ශිෂ්‍යයෝ වූහ. උන්වහන්සේ තරම් ගෞරවාදර ලැබූ ගුරුතුමෙක් මෙතෙක් ලොව පහළ වී නැත.

බෞද්ධයෝ බුදුහිමි "තිලෝගුරු" යනුවෙන් හඳුන්වති. බුදු හිමිගේ දේශනා වලට පැහැදී මිනිස්සු සිය දහස් ගණනින් උන්වහන්සේගේ සරණ පතා ආ විට එය නොරිස්සූ අන්‍යාගමිකයෝ බුදුහිමි මායා කාරයෙකි යි කීවෝය.

මහා කාරුණික බුදුපියාණන් වහන්සේ ශිෂ්‍යයන්ගේ අදහස් උදහස් චරිතය හොඳින් දැන ඔවුනට ගැළපෙන සේ ඉගැන්වූහ. බුදුන්වහන්සේ තම ශිෂ්‍යයන්ට දුන් ලොකුම දඬුවම වූයේ බ්‍රහ්ම දණ්ඩය නමැති දඬුවමයි. උතුම් දඬුවම යනු මෙහි තේරුමයි. ආශ්‍රය කරන්න වැරදිකරු සමග කතාබස් කිරීමෙන් වැළකී සිටීම මෙයින් අදහස් කෙරේ.

උන්වහන්සේ ශිෂ්‍යයන්ට කරුණු පැහැදිලි කිරීමේදී උපමා හා කතන්දර සිය දහස් ගණනින් ගෙනහැර පෑහ. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ ඇත්තේ එසේ විවිධ සිදුවීම් පැහැදිලි කිරීමට ශ්‍රාවකයන්ට දේශනා කළ ගාථා ය.

බුදුහිමි ශ්‍රාවක පිරිසට ශිෂ්‍ය පිරිසට කරුණු කියා දුන්නේ දම්සභා මණ්ඩපයේ දීම පමණක් නොවේ. උද්‍යාන, සුසානභූමි, ගල් තලා, වැලිතලා, රුක් සෙවණ, කුඹුරු, තණ පිට්ටනි, දුගී පැල්පත්, මග තොට, මහ වනය ආදී නිදහස් පරිසරයක් ඇති තැන් ඒ සඳහා බොහෝ විට යොදා ගත්හ. ඒ ඒ තැන් වල ඇස් හමුවේ ඇති දේම උපමාවට ගෙන කරුණු පැහැදිලි කළහ.

සුසාන භූමියක දී මළ සිරුරක් නිදසුන් කරගෙන උගන් වූ පාඩමක් මෙසේ ය.
සිරිමා යනු එකල විසූ සුරූපී ගණිකාවකි. ඇය හදිසියේ මියගිය බව බුදුරජාණන් වහන්සේට ආරංචි විය. ඇයගේ මිනිය ආදාහනය නොකරන ලෙසත්, දින 4ක් යනතුරු ආරක්ෂා සහිතව සුසාන භූමියේ තබන ලෙසත්, හතරවැනි දිනයේ නගර වැසි සියලු දෙනාම සුසාන භූමියට රැස් කරන ලෙසත් බුදුහිමියෝ කොසොල් රජුට දන්වා යැවූහ.

රජු ද ඒ නියමයන් ඒ අයුරින්ම ඉටු කළේය. නියමිත දින පැමිණියේය. සුසාන භූමිය මහා ජනයාගෙන් පිරී පැවැතිණි. මහ සඟරුවන පිරිවරා ගත් බුදුරජාණන් වහන්සේ ද නියමිත වෙලාවට සුසාන භූමියට වැඩිසේක. ජීවත්ව සිටියදී පැයකට මසුරන් දහස් ගණනක් ගෙවා ලබාගතයුතු සිරිමාගේ සිරුර වෙන්දේසි කරන ලෙස බුදු හිමි පැවසූහ.

වෙන්දේසිය ඇරැඹිණි.
මසුරන් දාහයි කිසිවෙකු ඉල්ලුවේ නැත,
මසුරන් පන්සියයයි කිසිවකු ඉල්ලුවේ නැත, මසුරන් සීයයි ඒත් ඉල්ලුවේ නැත! මෙසේ එක මසුරමක් දක්වා ගණන අඩු විය. ඒත් ඉල්ලන්නෙත් නොවුහ. අවසානයේ නොමිලේ ගන්න කීවද ඉල්ලන්නෙත් නොවුහ. ඉදිමී ඔජාව වැගිරෙන දුගඳ හමන සියල්ලන්ටම එපා ඒ මිනිය උදාහරණයකට ගත් බුදුරජාණන් වහන්සේ ඒ අති විශාල පිරිසකට උතුම් පාඩමක් ඉගැන්වූ සේක සේක.

රූපය මායාවක් බව, රූපය අනිත්‍ය බව, රූපයට වහල් වීම මහා මුලාවක් බව ඒ උතුම් පාඩමයි.

ඇතැම් අය සනසන්නට බුදුහිමි බණ දෙසුවේ නැත. ඔවුන්ටම තත්ත්ව අවබෝධයක් ලබාගන්නට උපක්‍රමයක් යෙදවූහ. තම දරුවාගේ මරණයෙන් සිහි විකල් ව සිටි කිසාගෝතමිය සැනසූවේ ඒ අයුරිනි.

ශිෂ්‍යයා ප්‍රශ්න ඇසීම ගැන බොහෝ ගුරුවරු කැමති නොවෙති. නොසලකා හරිති. දොස් පවරති. බුද්ධ කාලයේ විසූ ප්‍රසිද්ධ ශාස්තෘවරුන් හයදෙනාගෙන් ප්‍රශ්න අසන්නට ගිය සභිය පරිබ්‍රාජකයා ටද ඒ තත්ත්වයට මුහුණ පාන්නට සිදුවිය. ශාස්තෘන් ගැන කලකිරුණු සභිය බුදු හාමුදුරුවන් හමුවන්නට ගියේය. පිළිසඳර කතාබස් කළ සභිය තම හිත තුල ප්‍රශ්න ගණනාවක් ඇති බවත්, ඒවාට පිළිතුරු දෙන්නේද යන්නත් ඉතා ගරුසරු ඇතිව බුදුහිමිගෙන් විමසීය. එවිට බුදුහු ඔබ බොහෝ දුර ආවේ ඒ මගින් ප්‍රශ්න අසන්නට ඕනෑ තරම් ප්‍රශ්න අහන්න මම ඒ සියල්ලටම ධර්මානුකූලව පිළිතුරු දෙමියි වදාළහ.

සභිය ඒ අසා පුදුමවිය. බොහෝ පුදුමවිය. ඔහු ප්‍රශ්න අසන්න ගත්තේ සතුට ඉතිරී ගිය සිතකිනි. ප්‍රශ්න අසන්නන්ගේ සිත බුදු හිමිට පෙනේ. ඔවුන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන බුදුහිමි පිළිතුරු දෙති. පිළිතුරු අසන ඔවුන්ගේ සිත් තුළ ඇති මානය බිඳී නිහතමානි වෙයි. ප්‍රශ්න විසදු ආකාරය පිළිබඳව ඔවුහු මහා සැනසිල්ලකින් යුතුව කථා කරති.

"යටිකුරු කර තැබූ දෙයක් උඩුකුරු කළාක් මෙන් ද වැසූ යමක් විවෘතකොට තැබුවාක් මෙන් ද මඟ කියා දුන්නාක් මෙන් ද ඔබවහන්සේ ධර්මානුකූලව පිළිතුරු ලබා දුන්සේක. ස්වාමීනි මේ මොහොතේ පටන් තිසරණ සරණ යමි" යි උපාසකවරු බවට පත්වූහ.

බුදුපියාණන් වහන්සේ ගේ මහා කරුණාව ලඟදි බොහෝ අකීකරු භික්ෂුහු සුවච කීකරු බවට පත්වූහ. සැවැත්නුවර පොහොසත් ගෘහපතියෙක් විය. හෙතෙම තම බිරිඳ මියගිය පසු මහණ විය. ගෙදර වූ ධන ධාන්‍ය සියල්ල ද බඩු භාණ්ඩ ද රෙදිපිළි පන්සලට ගෙවා ගත්තේය. වැඩ කරුවන් ලවා රසට උයා ගෙන කමින් බොහෝ සිවුරු පිරිකර ආදිය භාවිතා කරමින් වාසය කළේය. මේ නිසා හෙතෙම බහුභාණ්ඩික භික්ෂුව නමින් ප්‍රසිද්ධ විය.

එක්තරා දිනක චාරිකාවේ වැඩි භික්ෂුහු පෙරළා විහාරයට එන අතර අව්වේ වනා තිබූ බොහෝ සිවුරු ඇඳ ඇතිරිලි ආදි දේ දැක ඒවා කාගේදැයි බහුභාණ්ඩික භික්ෂුවගෙන් විමසීය. ඒවා තමාගේ බව භික්ෂුව පැවසූයේ මහත් ආඩම්බරයෙනි. එවිට භික්ෂුහු ඇවැත්නි, බුදුහිමි අනුදැන වදාළේ තුන් සිවුරු හා පාත්‍ර පමණකි අල්පේච්ඡ වූ බුදුසසුනේ මහණ මෙතරම් පිරිකර ගොඩක් එකතු කරගෙන සිටීම නොහොබී යැයි පවසා ඒ බහුභාණ්ඩික භික්ෂු බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන ගියහ. සියලු විස්තර බුදු හිමි ට සැළ කළහ.

බුදුහිමි;
"මා අල්පේච්ඡ ජීවිතයේ උතුම් බව දේශනා කරද්දී ඔබ ඇයි මේ ලැබුනු ලැබුණු දේ දන් නො දී බොහෝ පිරිකර රැස් කරගෙන ඉන්නේ?" යැයි ඇසූ සේක.

බහුභාණ්ඩික භික්ෂුවගේ තරහව මතුවිය. සිව්වනක් පිරිස මැද ම පොරවාගෙන සිටි සිවුර ගලවා පසෙකට විසිකොට ඔබවහන්සේ එහෙනම් මට කියන්නේ මෙහෙම ඉන්න දැයි අඳනය පමණක් දරාගෙන සිටියේය.

බුදුහිමි ඉදිරියේ භික්ෂුව දැක්වූ අවිනීත දඩබ්බර කම ගැන පිරිස මවිත වූහ. මගේ බුදු පියාණන් වහන්සේ මැදහත් සිතින් සියල්ල ඉවසූ සේක. මහාකරුණාවෙන් භික්ෂුව ඇමතූ සේක.

"මහණ, මේ ඔබ කෙරෙහි අතිශයින් අනුකම්පා කටයුතු අවස්ථාවකි. අද ඔබ මෙසේ ලැජ්ජා බිය නැතිව සිටියත් මීට පෙර ආත්මයක දිය රකුසෙක් ව ඉපිද අවුරුදු 12 ක් මුළුල්ලේ ලැජ්ජා බිය යනු කුමක්දැයි සොයමින් සිටියේය. එදා එතරම් සැලකිලිමත් වූ ඔබ අද මේ ගරු කටයුතු ශාසනයෙහි පැවිදිව සිව් පිරිස මැද සිවුර විසිකොට ලැජ්ජා නැතිව ඉන්නේ ඇයි?"
බුදුහිමි මෙසේ වදාළ විට හොඳ සිහිය ලත් භික්ෂුව වහා බිම තිබුණු සිවුර ගෙන පොරවා ගත්තේය.

බුදුපියාණන් වහන්සේ කොයි තරම් ශ්‍රේෂ්ඨ ගුරුතුමෙක් දැයි මේ සිදුවීමෙන් පෙනේ. මේ ලොවුතුරා ගුරුතුමන් වහන්සේ වෙත රජවරු රජ සැප හැර දමා පැමිනියහ, සිටුවරු සිදු සැප හැරදමා පැමිනියහ, ස්වාමිපුරුෂයෝ භාර්යාවන් හැරදමා පැමිණියහ, ඇමතිවරු ඇමතිකම් හැරදමා පැමිනියහ, භාර්යාවෝ ස්වාමි පුරුෂයන් හැර දමා පැමිනියහ මවුපිය දූ දරුවන් හැර දමා පැමිනියහ, දූ දරුවෝ මවුපියන් අතහැර දමා පැමිණියහ.

මේ උතුම් ගුරුවරයා බුද්ධත්වය ලබාගත් පසු විමසා බැලුවේ ගෞරව දැක්වීමට අනුශාසනා ලැබීමට තමන්ට ගුරුවරයෙක් සිටීද කියාය. ගුරුවරයෙකු තබා තමන්ට සමාන වූ කෙනෙකු ද නැති බව වැටහිණි. එහෙයින් බුදු පියාණෝ තමන් වහන්සේ අවබෝධ කරගත් නව ලොවුතුරා ශ්‍රී සද්ධර්මය ම ගුරුවරයා හැටියට තබා ගත්හ. 🙏🙏🙏
ගණේගම සරණංකර නායක මාහිමිපාණන් ගේ බුදුහාමුදුරුවෝ පොත අසුරීනි.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන