බුදුහාමුදුරුවෝ පොතේ පෙරවදන

මව්වරුන්ගේ දිනය වෙනුවෙන්!

අම්මා දශකයකට පෙර ලියූ පොතක පෙරවදන මේ. ඇගේ ඇසින් ලොව දකින්නට බැරි වීම, ඇය සේ ලොවට ආදරය කරන්නට බැරි වීම මට කණගාටුවක්. ඉඩ එන පරිදි ඇගේ ලිපි නව මාධ්‍ය තුළත් පළ කළ යුතුයි, ඇයට සහ සියලු මව්වරුන්ට සුව පතමින් 🙏

මගේ කියමන.


මම කියවන්නට බොහෝ ප්‍රිය කරමි. අතිශයින්ම ප්‍රිය කරමි. කියවා වටහා ගැනීමට හැකි පොතපත මගේ කලණ මිතුරෝ වෙති. කවර හෝ පොතක් දැකීම මට ප්‍රිය දසුනකි. එය මට සුදුසු, මට වැටහෙන පොතක් නම් මට දැනෙන සතුට අසීමිතය.

බොහෝවිට නිවසේම කල දවස ගෙවෙන අබල දුබල කම් වලින් පෙලෙන වියපත් අපට පොත් ඇති තැන් සොයා යාම අසීරුය. එහෙත් කවර ලෙසකින් හෝ පොත් ලැබේ. කියවාගත නොහැකි තරමටම ලැබේ. ලැබෙන තරමටම මම ද ඒවා කියවන්නන්ට බෙදාදෙමි.

දිවි මගෙහි අවසන් ඉම පෙනෙන මානයේ සිටින මා දැන් කියවන්නෙම බණ දහම් ගැන ලියැවුණු පොත්මය. ඒ පොත් පුරාවටම පිරී තිබුණු සුවඳ දහම් පද මම මගේ ලග උදේ හවා දැවටෙන අයට කියා දෙමි. ඒවා අසන ඔවුන් සුළු වෙලාවකින් අතුරුදහන් වන්නේ යළි එන බව කියමිනි. ඒත් කිසිම දවසක යළි ආවේ නැත. ඔවුන්ට අසන්ට වෙනත් බොහෝ දේ ඇත. මා සේම වියපත් වූවෙකුම පමණි ඒවාට කන් දෙන්නේ.

කියවන පොත පතක, අසන දම්දෙසුමක, සුවඳ හමන තැන් තව එකෙක් හා බෙදා හදා ගන්නට මම මහත් සේ ප්‍රිය කරමි. ඇතැම්විට ඊට සුදුසු කෙනෙකු හමු වන විට මට ඒ උතුම් දහම් කරුණු අමතකව ගොසිනි. සමහර කරුණු මම ලියා තබා ගනිමි. එහෙත් අවශ්‍ය වී සොයන විට ඒ තැබූ තැන ද මතක නැත. අද බොහෝ දේ මට අමතක වී යයි. විටෙක එය මට දුක ගෙන අමතකවීම සතුට ගෙනා තැන් ද නැත්තේ නොවේ.

බුදුගුණයේ උත්තරීතර මිහිර දැනෙන්නේ ත්‍රිපිටකය මනා අවබෝධයෙන් කියවූ පින්වතුන්ටයි. ඒ වාසනාව තවම මට ලැබී නැත. එහෙත් මුළු ත්‍රිපිටකයම කියැවූ උතුම් බුදු සව්වෝ ඒ උතුම් සදහම් මිහිර අපට ද ලබා දෙති.

මීට දශක තුනකට එහා මට කියවන්නට ලැබුණු මා හැඟි බුදුබණ පොතකි "බුදුහාමුදුරුවෝ". ඒ පොත අති පූජ්‍ය පණ්ඩිත ගණේගම සරණංකර මාහිමිපාණන් වහන්සේ ගේ ය. එය මීට සති කීපයකට පෙර ද ඉතා අහම්බෙන් එය යළිත් කියවන්නට ලැබිණි.
මුල් කියවීමේදී මම ඈත සිට බුදුරජාණන් වහන්සේට නමස්කාර කෙළෙමි. දෙවන කියවීමේදී මම බුදුරජාණන් වහන්සේගේ සිරිපා මුලම වැඳ වැටෙමින් නමස්කාර කෙළෙමි.
මාගේ හදවත බුදු කුටියක් විය. මිහිරි බඹසර විහිදුවමින් බුදුරජාණන් වහන්සේ දම් දෙසූ සේක. මේ ගලාගෙන යන්නේ අති උතුම් සදහම් මිහිර ය. ඔබත් ඒ අමා මිහිර විඳ ගන්න.
මටත් වඩා සිය දහස් ගුණයෙන් ඔබට ඒ මිහිර දැනේවා!
කෙලෙස් දුගඳ වියැකී යන්නට ඒ උතුම් සදහම් සුවඳ හේතු වේවා!

ඔබට සම්මා සම්බුදු සරණයි!

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන